සීතාවක රාජධානියේ ඉතිහාසය

සීතාවක රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත්ම රාජධානියක් වන අතර, අද බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ සැඟවුණු උරුමයක් ලෙස හඳුන්වා දිය හැකිය. එහෙත් එහි වීරත්වය සහ ඓතිහාසික වටිනාකම කිසිදා මැකී ගොස් නැත.

ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදු වූ විජයබා කොල්ලයෙන් පසු, රජ පවුලේ බාල කුමාරයා වූ මායාදුන්නේ කුමරු සීතාවක ප්‍රදේශයේ පාලකයා බවට පත්විය. ඔහුගේ සහෝදරයන් වූයේ බුවනෙකබාහු සහ රයිගම් බණ්ඩාරය. බුවනෙකබාහු කෝට්ටේ රාජධානිය පාලනය කළ අතර, රයිගම් බණ්ඩාර රයිගම් ප්‍රදේශය පාලනය කළේය.

මායාදුන්නේ රජු සටන්කාමී, දේශප්‍රේමී සහ දක්ෂ පාලකයෙකි. ඔහුගේ අරමුණ වූයේ රට පෘතුගීසීන්ගේ බලපෑමෙන් මුදාගෙන රාජ්‍යය ශක්තිමත් කිරීමයි. එම නිසා ඔහු තම රාජ්‍යය ක්‍රමයෙන් පුළුල් කරමින් බලවත් රාජධානියක් ගොඩනැගීය.

ඊට වෙනස්ව, බුවනෙකබාහු රජු පෘතුගීසීන් සමඟ මිත්‍ර සබඳතා පවත්වාගෙන ගිය අතර, ඔවුන්ගේ සහාය මත කෝට්ටේ රාජධානිය පාලනය කළේය. මේ හේතුවෙන් මායාදුන්නේ සහ බුවනෙකබාහු අතර අවස්ථා කිහිපයකදී සටන් ද ඇති විය.

මායාදුන්නේ රජුගේ පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර කුමරු, පසුව සීතාවක රාජසිංහ රජු ලෙස රාජ්‍ය පාලනය භාරගත්තේය. තම පියා මෙන්ම, ඇතැම් විට ඔහුටත් වඩා දක්ෂ හා බලවත් රණශූරයෙකු වූ ඔහු, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම යුධ නායකයන් අතරින් කෙනෙකු ලෙස සැලකේ.

සීතාවක රාජසිංහ රජු අංගම් සටන්, ඉලංගම් සටන්, මායා අංගම්, ආයුධ සටන්, වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර සහ යුධ උපක්‍රම පිළිබඳ ඉතා හොඳ දැනුමක් සහ පුහුණුවක් ලබා සිටි පාලකයෙකි. ඒ නිසා ඔහු සටන් බිමේදී අතිශය දක්ෂ නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ඔහු පෘතුගීසීන්ට එරෙහිව දැඩි ලෙස සටන් කළ අතර, ඔවුන්ගේ බලය බිඳ දැමීමට විශාල උත්සාහයක් ගත්තේය. ඔහුගේ සටන් ශක්තිය හේතුවෙන් පෘතුගීසීන් පවා ඔහුට බිය වූ බව විවිධ ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත්, ඇතැම් ඉතිහාස ග්‍රන්ථවල සීතාවක රාජසිංහ රජු පීතෘඝාතකයෙකු, භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ අයෙකු සහ බෞද්ධ ආගමට විරුද්ධ පාලකයෙකු ලෙස හඳුන්වා දී ඇත. එහෙත් අදටත් පවතින පුරාවිද්‍යාත්මක සාධක, නටඹුන් සහ ඓතිහාසික ස්ථාන නිරීක්ෂණය කළ විට එම සියලු අදහස් සම්පූර්ණයෙන්ම සත්‍ය බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක නොමැති බව පෙනේ.

උදාහරණයක් ලෙස, මැදගොඩ පත්තිණි දේවාලය සීතාවක රාජසිංහ රජුගේ සමයට අයත් බවට විශ්වාස කෙරේ. එක් මතයකට අනුව, තම දේවියගේ මරණයෙන් පසු ඇයගේ සිහිවීම සඳහා මෙම දේවාලය ඉදිකරන ලදී. තවත් මතයකට අනුව, රුවන්වැල්ල බලා යමින් සිටියදී රජුගේ අඟුල එක් ස්ථානයක නතර වූ අතර, එහි තිබූ පැරණි දේවාලයකට භාරවීමෙන් පසු නැවත ගමන ආරම්භ කිරීමට හැකි වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම සිදුවීම සිහිපත් කරමින් මෙම දේවාලය ප්‍රතිසංස්කරණය කළ බවද කියැවේ.

මෙම කරුණු අනුව සීතාවක රාජසිංහ රජු ආගම්වලට විරුද්ධ පාලකයෙකු නොව, විවිධ ආගමික ස්ථානවලට ගෞරවය දැක්වූ පාලකයෙකු බවට අදහස් පළ වේ. ඔහුගේ කාලයේ සමන් දේවාල සහ පත්තිණි දේවාල රැසක් සංවර්ධනය වූ බවට ද සාධක ඇත.